මේ වන විට රට තුළ නැවතත් දරුණු ඩීසල් හිඟයක් මතුව ඇති අතර විධිමත් වැඩපිළිවෙළක් යටතේ මේ සතිය තුළ ඩීසල් ලබාදීමට රජය පියවර නොගන්නේ නම් එළඹෙන සදුදා සිට බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ තවමත් ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් හදුන්වාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට නොහැකි වී ඇති බවයි.
"ප්‍රායෝගිකව මෙයට වැඩපිළිවෙලක් කරන්න තාමත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට හැකියාවක් ලැබිලා නෑ. අද වනවිට ධාවනය කරපු බස්වලින් හතරෙන් එකක් පමණක් ධාවනයේ යෙදෙන්නේ. සියලුම බස්රථ ඩීසල් පෝලිම්වල. මේ විදියට අපිට මේ ප්‍රවාහනය කරන්න බෑ. සේවක මහත්තුන්ට පඩි දෙන්න ඕනේ. කොවිඩ් එකත් එක්ක වසර ගණනාවක් ලීසිං ගෙවා ගන්න බැරි වුණා. මේ තත්ත්වය තුළ අපි දිගින් දිගටම කිව්වා පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබාදෙන්න කියලා. මේ සතිය ඇතුළත අනිවාර්යයෙන්ම ඩීසල් ලබාදීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. ලංගමට ඩීසල් ආවේ නෑ. ඒ නිසා ඒ අයට අපට දෙන්න විදියක් නෑ. දැන් දරුවන්ගේ විභාගය ඉවරයි අපිට අකමැත්තෙන් වුවත් ධාවනය කරන බස්රථ ටිකත් නවත්වන්න සිද්ධවෙනවා."අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




