පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නව කමිටුවට නම් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර තිබෙනවා.
අද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කියා සිටියේ එම කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත් කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කෝප් කමිටුවෙන් ඉවත්වීමට ස්වාධීන තීරණයක් ගෙන ඇති බවයි.
ඒ අනුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මහාචාර්ය චරිත හේරත් මහතා යෝජනා කිරීමට විපක්ෂය තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
මන්ත්‍රීවරුන් 27 දෙනෙකුගෙන් යුත් කෝප් කමිටුව කථානායකවරයා විසින් ඊයේ (03) ප්‍රකාශයට පත් කළ අතර, එහි මහාචාර්ය චරිත හේරත්ගේ නම ඇතුළත් කර නැහැ.
මේ අතර නව කෝප් කමිටුව පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය හේරත් තම නම ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයට, විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ අගමැති දිනේෂ් ගුණවර්ධනට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




