Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන ක්‍රියාවලියේ දී වංචනික ක්‍රියාවන් සිදුවේනම් වහාම යුධ හමුදාව දැනුවත් කරන්න.


විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදී අයථා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශ්වකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙස නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල්හිමියන්ට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දීතිබෙනවා.

නිරෝධායන ක්‍රියාවලිය ඉතා ඉහළ ප්‍රමිතියකින් හා විශ්වාසනීයව පවත්වාගෙන යෑමට යුද හමුදාව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් යුද හමුදාව ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී හෝටල් හිමිකරුවන් සහ හෝටල් විධායක නිලධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියා. 

මෙරටට පැමිණ හෝටල්වල නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සාධාරණ මුදලකට ලබාදීම තම අරමුණ බවත්  විදෙස්වල සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදි ඇතැම් වංචනික පුද්ගලයින් මුදල් ලබාගෙන තිබුණද එවැනි ක්‍රියාවන් සිදුවීමට ඇති ඉඩකඩ මේ වනවිට සම්පුර්ණයෙන්ම අවුරා තිබෙන බවද පැවසු ශවේන්ද්‍ර  සිල්වා මහතා යම්කිසි හෝ ආකාරයකින් එවැනි ක්‍රියාවක් සිදුවූවහොත් ඒ පිළිබඳ වහාම යුද හමුදාවේ අවධානයට යොමුකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා තිබේ.