යුක්රේන සංචාරකයන් නිසා රට අවදානමකට ලක්වී ඇතැයි කීම පදනවිරහිත බවත් රටට විදේශ විනියම අවශ්‍ය වන බවත්, විදේශ විනිමය උපයාගැනීමේදී සංචාරක ව්‍යාපාරය වැදගත් වන බවත් සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසයි.
මෙරටට ගෙන්වූ යුක්රේන සංචාරකයන් සිටින්නේ ජෛව බුබුළක ආකාරයට බවත් එනම් ඔවුන් ඔවුන් අතර සියලුදෙනා එකට සිටියත් ඔවුන් ජෛව බුබුළක් ලෙස අන් අයගෙන් වෙන්වී සිටින බවත් එහිදී අමාත්‍යවරයා පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ජනවාරි 21 වනදා සිට ගුවන්තොටුපොළවල් විවෘත කරන ද ඔහු එහි දී පවසන ලදි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, යුක්රේනය වසාදැමීමේ තීන්දුව ගත්තේ මෙරටට සංචාරකයන් පැමිණීමෙන් පසුව වන අතරම සංචාරකයින් මෙරටට පැමිණීමේදී තිබූ තත්ත්වය මේ වන විට වෙනස් වී ඇති බවත් යුක්රේනය වැසූ පසු කිසිවෙකු මෙරටට පැමිණ නැතැයිද කියා සිටියේය.
ගුවන්තොටුපොළ හරහා සංචාරකයන් ගෙන්වාගැනීමට විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇති ද යන්න පිළිබදව මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ලංකාවේ අපනයන ආදායම සහ ආනයන වියදම අතර විශාල පරතරයක් ඇති අතර, අපනයන ආදායම ඩොලර් බිලියන 11ක් වන විට ආනයන වියදම ඩොලර් බිලියන 20ක් පමණ වන බවද මෙම දැවැන්ත පරතරය පියවාගැනීමට හැකි වන්නේ ප්‍රධාන වශයෙන්ම විදේශ ආයෝජන, සංචාරක ව්‍යාපාරය හා විදෙස්ගත ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ මගින් වන බවත් සිහිපත්කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එම නිසා සංචාරක ව්‍යාපාරය විදේශ විනිමය කළමනාකරණය කිරීමේදී අතිශයින්ම තීරණාත්මක සාධකයක් වන බවයි.
වසරකට ආසන්න කාලයක් සංචාරක ව්‍යාපාරය අඩපණ වීමත් සමග එක් පසකින් ආණ්ඩුව විදේශ විනිමය හිගයකට මුහුණ පෑ බවත්, අනෙක් පසින් සෘජු සහ වක්‍ර රැකියා ලක්ෂ 30කට අධික ප්‍රමාණයක් මෙයින් දුෂ්කරතාවයන්ට මුහුණපෑ බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
එම හේතූන් මත යුක්රේන සංචාරකයන් මෙරටට ගෙනඒමේ නියමු ව්‍යාපෘතියක්ක්‍රියාත්මක කරමින් ජනවාරි 08 වනදා වන විට යුක්රේන සංචාරකයන් 1004ක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් කියා සිටියේය.
මේ වන විට යුක්රේන සංචාරකයින් මෙරටට ගෙන ඒම මගින් කොරෝනා බෝ වෙතැයි විපක්ෂය විසින් විශාල ආන්දෝලනයක් ඇතිකර ඇතැයිද, කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකායේ දත්ත අනූව පැමිණි සංචාරකයන් 1004 දෙනාගෙන් කොරෝනා ආසාදනය වී ඇත්තේ තිදෙනෙකුට පමණක් බවත් එය 0.3% ක පමණ ඉතා කුඩා ප්‍රතිශතයක් බවත් අමාත්‍යවරයා පැවසුවේය.
මේ වන විට විදෙස්ගත ශ්‍රමිකයන් ලෙස සිටින ශ්‍රී ලාංකිකයන් 69707ක් ලංකාවට ගෙන්වා ඇති බවද, ඔහුන්ගෙන් 1807 දෙනෙකු කොරෝනා රෝගයට ගොදුරු වී ඇති බවත්,
මේ වන විට මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි වීම දිනෙන් දින ඉහල යන බවත් 21 වනදායින් පසු අවශ්‍ය පහසුකම් සලසමින් ඔවුන් සියලුදෙනා නිරෝධායන රීතීන් යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන්යානා මගින් මෙරටට ගෙනඒමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.




