Header Ads

උණුසුම් පුවත්

එංගලන්ත ක්‍රීඩකයන් සිටින හෝටලේ දෙදෙනකුට කොරෝනා


ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ලැගුම් ගෙන සිටින ගාල්ලේ තරු පහේ සංචාරක හෝටලයක මුළුතැන්ගෙයි අරක්කැමියන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව අද (15) තහවුරු වූ බව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය බට්‍රම් ද සිල්වා මහතා පැවසීය.

ගාල්ල ප්‍රදේශයේ  පදිංචි ආසාදිත සේවකයින් දෙදෙනා අවශ්‍ය වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ද ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කීය.

මෙම සේවකයන් දෙදෙනා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඔවුන්ගේ ජෛව සාම්පල යුද හමුදා වෛද්‍ය කණ්ඩායමක් විසින් ලබාගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනා ආසාදිත බව හඳුනාගෙන තිබේ.

හෝටල් පරිපාලනය සඳහන් කරන්නේ මෙලෙස වයිරසය ආසාදනය වී ඇති සේවකයන් දෙදෙනා කිසිම අවස්ථාවක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා සෘජුව සම්බන්ධ නොවූ බවයි.

එංගලන්ත ක්‍රීඩකයන්ගේ අවශ්‍යතා හේතුවෙන් ක්‍රීඩා පිටියේ සේවය සඳහා දෛනිකව පිටත්ව යන හෝටල් සේවකයන් 10 දෙනකුට තරග ආරම්භයට පෙර පීසීආර් පරීක්ෂණ සිදුකළ අතර ඔවුන්ට කොරෝනා ආසාදනය වී තිබුණේ නැති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.