පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ධූරය දැරූ සමයේ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක ස්ටැන්ලි පෙරේරා නැමති නිලධාරියා සේවය අතහැර ගියා සේ සළකා ඔහුව සේවයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුව වහාම සේවයේ පිහිටුවීමට කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. එමෙන්ම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාර හිටපු අධ්‍යක්ෂ කමල් සිල්වා ඇතුලු පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට සිය පෞද්ගලික මුදලින් රුපියල් 25,000 බැගින් පෙත්සම්කාර පොලිස් පරීක්ෂක ස්ටැන්ලි පෙරේරා වෙත වන්දි වශයෙන් ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. ඒ ඊට අදාළ පෙත්සම ඊයේ (18) කැඳවූ අවස්ථාවේදියි.
හිටපු පොලිස් පරික්ෂක ස්ටැන්ලි පෙරේරා විසින් ගොනුකළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට අමතරව පෙත්සම්කරුට රුපියල් 50,000ක නඩු ගාස්තු ගෙවන ලෙසට රජයට නියෝග කෙරුණා. එමෙන්ම 2017 වසරේ මාර්තු මස 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පෙත්සම්කරුට හිඟ වැටුප්, වැටුප් වර්ධක සහ සියළු දීමනා සහිතව යළි සේවයේ පිහිටුවීමට පියවර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට නියෝගකර තිබෙනවා.