නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා සිය වසර 36 ක නාවික සේවය නිමා කරමින් ඊයේ දිනයේ විශ්‍රාම ලැබුවා.
රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ 55 වන උපන් දිනය ද 15 දිනට යෙදී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් කපිල සමරවීර මහතා හට උපන් දින සුභපැතුම් එක් කළ අතර අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ඒ මහතා හට විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලදි. සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් ඒ මහතා පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යේෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන එක් කළා.
1985 වර්ෂයේදී 13 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා තම සේවා කාලය තුළ ධජ නිලධාරී නාවික දියත් විධානය, දකුණු නාවික විධානයේ ආඥාපති, උතුරු නාවික විධානයේ ආඥාපති, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ආදී ප්‍රධාන නිල තල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කරන ලදි.