
රට හදන 'සෞභාග්‍යයේ දැක්ම' යථාර්ථයක් කිරීමට කැප වෙමින් කටයුතු කරන ලෙසත් අභ්‍යන්තර වියවුල් හදමින් ආණ්ඩුවට එරෙහි සතුරු බලවේගවලට අවශ්‍ය භූමිය නිර්මාණය කිරීමට දායක නොවන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වියවුල් නිර්මාණය කරන පිරිස් වෙතින් ඉල්ලා සිටියි.
අද (17) ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මොරටුව නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා මෙසේ ඉල්ලා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුරේෂ් ඉන්දික මහතා මෙසේද සඳහන් කළේය.
" අප මෙම මාධ්‍ය හමුව පවත්වන්නේ 131ක් වන ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරු ලෙසයි. 69 ලක්ෂයක ජනවරමේ අපේක්ෂාවන් ඉටු කරමින් සහ 2/3 ක පාර්ලිමේන්තු ජනවරමේ බලය ද සමගින් ආණ්ඩුවට ඉදිරියට යාම සඳහා බිම් මට්ටමින් විශාල සහයෝගයක් ලබා දෙන්නේ පළාත් පාලන මන්ත්‍රීවරුනුයි.
අපිට තමයි බිමේ ජීවත් වන අඩු ආදායම්ලාභීන්ගේ සිට ඉහළ මධ්‍යම පාන්තිකයා දක්වා සියලු ජනකොටස් සමග සක්‍රීයව ගනුදෙනු කිරීමට සිදුව ඇත්තේ. 69 ලක්ෂයක ජනවරමක් ලැබුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් ඉදිරිපත් කළ 'රට හදන සෞභාග්‍යයේ දැක්ම' යථාර්ථයක් කරන්න කියලයි. ඒ කටයුත්ත නිසි ලෙස සිදු වෙනවාද, කියා ජනතාව සමීපව විමසන පිරිස අපයි.