කොවිඩ් රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් ඉතා අඩු අවදානමක් පැවති බදුල්ල දිස්ත්‍රික්කයෙන් එකවර රෝගීන් විශාල පිරිසක් වාර්තා වීම අස්වාභාවික හා බලාපොරොත්තු නොවූ තත්වයක් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ඉතා ඈත ග්‍රාමීය ප්‍රදේශවලින් පවා ආසාදිතයන් පොකුරු පිටින් වාර්තා වීම හරහා ඉදිරියේදී දැඩි අවදානම් තත්වයක් රට පුරා ඇති විය හැකි බව ඒ මහතා සදහන් කරයි.
ඊයේ දිනයේදී මෙරටින් ආසාදිතයන් 726 ක් හඳුනාගෙන තිබූ අතර ඉන් වැඩිම ප්‍රමාණයක් (197) වාර්තා වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙනි.
පසුගිය කාලයේදී දිනපතා වාර්තාවන ආසාදිතයන්ගෙන් 50% කට වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් හමු වූ නමුත් මේ වනවිට එම තත්වය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බවත්, දැන් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගෙන් 60% ඉක්මවන පිරිසක් බස්නාහිර පළාතට පිටතින් වාර්තා වන බවත් අලුත්ගේ මහතා පවසයි.
ඒ අනුව වෛරසය රටපුරා පැතිරී ඇති බව හා පාලනයෙන් ගිලිහී ඇති බව පිළිගැනීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් පවසයි.