Header Ads

උණුසුම් පුවත්

යාපනයේ නගරාධිපති අත්අඩංගුවට


යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා අද (09) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

යුද සමයේ දී එල්.ටී.ටී.ඊ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන පුද්ගලයින් භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයින් 05 දෙනෙකු යාපනය නගරය ආසන්න ප්‍රදේශයක රාජකාරී කටයුතු සඳහා යොදාගැනීම තුළින් එම සංවිධානය ප්‍රවර්ධනයට අනුබලදීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකිරීමේ දී එම පුද්ගලයින් නගරසභාව විසින් රාජකාරීයේ යොදවා ඇතැයි අනාවරණය වී තිබේ.

යාපනය මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු සාක්ෂිකරුවන් රැසකගේ ප්‍රකාශ සටහන් කර ගැනීමේදී අදාළ පුද්ගලයින් තාවකාලිකව නගරසභාවට බඳවා ගෙන නිල ඇඳුමක් නිර්මාණය කර සේවයේ යොදවා ඇත්තේ නගරාධිපතිවරයා විසින් බව අනාවරණය වී ඇත.

එල්.ටී.ටී.ඊ සංවිධානය මෙරට තහනම් සංවිධානයක් වන අතර එම සංවිධානය ප්‍රවර්ධනය වන හෝ එම සංවිධානයේ නිල ඇඳුම් ලාංඡන ආදිය ප්‍රදර්ශනය කිරීමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් ක්‍රියාවක් වේ.

මෙසේ අත්අඩංගුවට ගත් යාපනය නගරාධිපතිවරයා අද දින ත්‍රස්ත ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.