රසායනික පොහොර භාවිතයේ සිට කාබනික පොහොර භාවිතයට මාරුවීමේදී ගොවීන්ට යම් පාඩුවක් සිදු වුවහොත් ඊට වන්දි ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
රසායනික පොහොර ආනයනය නතර කළද ගොවීන්ට පොහොර හිඟයක් ඇතිවීමට ද ඉඩ නොදෙන බව වගකීමෙන් සඳහන් කරන බව ද අලුත්ගමගේ මහතා කීය.
පොහොර ආනයනය නතර කිරීමේ තීරණයත් සමග ගොවීන් විශාල බියකට පත්ව සිටින අතර පොහොර නැතිවේ යැයි අනිසි බියක් ඇති කර ගන්නට එපා යැයි වගකීමෙන් සඳහන් කරන බවද අලුත්ගමගේ මහතා කීය.
රසායන පොහොර ආනයනය නතර කිරීම රජයේ ප්‍රතිපත්තියක් බව කී අමාත්‍යවරයා මේ වසරේ කාබනික පොහොර ගොවීන්ට ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන් කර තිබෙන බවද පැවසීය.
හරිත සමාජ ආර්ථික රටාවක් යන මැයෙන් ජනපති ඉකුත් සතියේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඒකමතික අනුමැතිය ලැබුණ බවත් එහි මුලින්ම සඳහන් වූයේ රසායන පොහොර කෘමිනාශක සහ වල්නාශක භාවිතය සහ ආනයනය කිරීම නතර කිරීම සම්බන්ධව බවත්ය.
යල කන්නයේ මේ වන විටත් වගා කර තිබෙන සියලු බෝග සඳහා පොහොර ආනයනය කර තිබෙන අතර මෙරට කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබෙන බවත් ලබන මහ කන්නයේ සිට ගොවීන්ට කාබනික පොහොර සැපයීමට හැකියාව ලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.



