Header Ads

උණුසුම් පුවත්

වරාය නගර පනත් කෙටුම්පත තුන්වන වර කියවීම වැඩි ඡන්ද 91කින් සම්මතයි


වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටූවිමට අදාල පනත් කෙටුම්පත තුන්වන වර කියවීම  සංශෝධන සහිතව ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. 

ඊට පක්ෂව ඡන්ද 149 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුනු ඡන්ද සංඛ්‍යාව 58ක්. පනතේ වගන්ති 20ක් ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කෙරුණු සංශෝධන සහිතව සම්මත වුණා.

 එමෙන්ම මෙම පනතේ වගන්ති 9ක් සඳහා විපක්ෂයේ යෝජනා ඉදිරිපත් කෙරුණු අතර එම වගන්ති සම්මත කෙරුණේ විපක්ෂයේ යෝජනා පිළිගැනීමකින් තොරවයි. 

පනත සම්බන්ධයෙන් සිදු කෙරුණු ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 207 දෙනෙක් ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කළ අතර 16 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.  

රිෂාඩ් බදියුදුීන් මන්ත්‍රීවරයාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් වන අලි සබ්‍රි රහීම් සහ ඉෂාඩ් රහුමාන් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදී තිබෙනවා. 

ඒ අතරින් මුජිබර් රහුමාන් සහ එම් රමේෂ්වරන් යන මන්ත්‍රීවරුන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පාර්ලිමේන්තුවට නොපැමිණි අතර ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා ද අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. 

අවසන් ඡන්ද විමසීම සඳහා හරීන් ප්‍රනාන්දු, විජේදාස රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි අතර මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් ඇතුලු මන්ත්‍රීවරුන් 5 දෙනෙක් ද ඡන්දය දීමෙන් වැළකී සිට තිබෙනවා.