Header Ads

උණුසුම් පුවත්

කලාපීය අභියෝග හඳුනා ගනිමින් සංවර්ධනයකරා යා යුතුයි


පස්වෙනි බිම්ස්ටෙක් සමුළුව මෙම වසර අග භාගයේදී ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය පැතිරීම පාලනය කරන ආකාරය සහ සාමාජික රටවල සංචරණ සීමාවන් ලිහිල් වන ආකාරය අනුව එම සමුළුව පැවැත්වීමට අපේක්ෂා කරන බවය. 

බහුආංශික, තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුල පිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ 24 වන සංවත්සරය වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් එක්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර ඇත. 

බිම්ස්ටෙක් සංවිධානයේ වර්තමාන සභාපතිවරයා වශයෙන් 17 වන බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඇතුළුව ප්‍රධාන බිම්ස්ටෙක් රැස්වීම් 8ක් ශ්‍රී ලංකාව විසින් පවත්වා ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. 

එම රැස්විම්වල ප්‍රතිඵලයන් ලෙස සාමාජික රටවල් සාමූහිකව බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සඳහා වූ කෙටුම්පත සම්පාදනය කිරීමටත්, බිම්ස්ටෙක් සාමාජික රටවල රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාවයට ද්වීපාර්ශවික අවබෝධතා ගිවිසුමකටත් එළඹීමට හැකි වූ බව පෙන්වාදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ එම තීරණ පස්වෙනි බිම්ස්ටෙක් සමුළුවේදී සම්මතකර ගැනීමට අපේක්ෂා කරන බවය.