'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ පරිසර හානියේ බලපෑම තවත් වසර 20ක් පමණ යනුතුරු පවතිනු ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඇමතිවරයා පැවසුවේ එම පරිසර හානිය කිසිසේත්ම ඩොලර්වලින් ගණනය කර හිළව් කළ නොහැකි බව සහ නැවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවෙනවා දැයි සොයා බලා විමර්ශනය කිරීමට සමුද්‍රීය පරිසර අධිකාරියේ කණ්ඩායමක් නැව අසලට යවා ඇති බවයි.
ඹහු වැඩි දුරටත් සඳහන් කළේ භාණ්ඩ වර්ග 193ක් බහාලුම් 1486ක් බහා මෙම නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ අතර මෙම භාණ්ඩ අතර ප්ලාස්ටික් පැලට් අඩංගු බහාලුම් විශාල ප්‍රමාණයක් අන්තර්ගතව තිබූ බව හා මෙරට ප්‍රධාන නිෂ්පාදන සමාගම් දෙකකට මාස දෙකක කාලයක් සඳහා අවශ්‍ය ප්ලාස්ටික් පැලට්ස් නැවේ පැවති බවයි.
මෙයින් සාගරයට එක් වු ප්ලාස්ටික්වලින් වෙරළට ගොඩ ගැසු විශාල ප්‍රමාණයක් මේ වනවිට එක් රැස් කර බහාලුම් 40ක ගබඩා කර ඇතැයි කී ඇමතිවරයා තව කොපමණ ප්‍රමාණයක් සාගරය තුළ තිබේද යන්න හෝ මසුන් විසින් කා දමන්නට ඇත්ද යන්න තවමත් සොයාගත නොහැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙම එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුව ඇති විනාශයට වන්දි ලබාගැනීම මෙන්ම ඊට වගකිව යුතු සියලු දෙනා හඳුනාගෙන දඩුවම් කිරීම ද කළ යුතු බව කී අමරවීර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුව දැනටමත් මේ සම්බන්ධව විමර්ශණ ආරම්භ කර ඇති බවත් දැනටමත් මේ සම්බන්ධ නඩු දෙකක් පැවරීමට කටයුතු කර ඇති බව අධීකරණ ඇමැතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දැනුම් දුන් බවත් ඇමැතිවරයා පැවසුවා.