ආණ්ඩුවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයට විරුද්ධ වීමේ හේතු දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ලොව භයානකම ව්‍යසනයට රට මුහුණ දෙමින් සිටින මොහොතේ ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කිරීමෙන් සිදු කරන්නේ ජනතාව මහ දවල් මංකොල්ලකෑමක් බවයි. එසේම රටේ සියලු ක්ශේත්‍ර කඩා වැටී ජනතාව පීඩා විඳිමින් සිටින මොහොතේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය ඉතා අමානුෂික බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.
2015 වසරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පිහිටුවන සමයට වඩා මෙවර ආණ්ඩුව බලයට පත් වන විට ඉන්ධන මිල පහළ අගයක තිබුණ බව විපක්ෂනායකවරයා පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය රජය ක්‍රියාවට නැංවූ මිල සූත්‍රය අනුව කටයුතු කළා නම් 2020 වසරේ ලෝක ඉන්ධන මිල පහළ වැටුණු අවස්ථාවේ දී ජනතාවට විශාල වාසියක් ලබා ගැනීමට ඉඩ තිබුණු බවයි. නමුත් මිල ස්ථායිකරණ අරමුදලක් ඇති කරන බව පවසමින් 2020 ලෝක තෙල් මිල පහළ යෑමේ වාසිය ජනතාවට ලබා නොදුන් ආණ්ඩුව එම අරමුදලට කුමක් සිදු වූවා ද යන්න පිළිබඳ මේ වන තුරු රටට හෙළි කර නැතැයි ඔහු චෝදනා කරනවා.
දෙවසරක් තිස්සේ කෝවිඩ් වසංගතය හේතුවෙන් රටේ සෑම අංශයක්ම කඩා වැටී ඇති අවස්ථාවක ආණ්ඩුව වගකීම් විරහිත ව හැසිරෙනවා නම් විපක්ෂයක් ලෙස ඊට එරෙහිව නැගී සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එම නිවේදනයේ සඳහන් කරනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid