හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව යටතේ නිදහස් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව ඊයේ (24) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දුමින්ද සිල්වා සිරගත කරන ලද්දේ නීතිවිරෝධී රැස්වීම හා මිනීමැරීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දඬුවම් නියම කර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අනුමත කරන ලද තීන්දුවකට අනුව බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතා පවසනවා.
මරණීය දණ්ඩනය නියම කළ වැරදි කරුවෙකුට සමාව ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට හැකියාව තිබුණ ද එහි අතුරු විධාන අනුව එම තීරණය ගැනීමට පෙර නඩුව විභාග කරන ලද විනිශ්චකාරවරුන්ගේ වාර්තාවක්, නීතිපතිවරයාගේ උපදෙස් සහ අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශයත් අවශ්‍ය වනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විමසන්නේ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දුන්නේ ඉහත නිර්දේශවලට අනුව ද යන්න දැනගැනීමට මහජනයාට අයිතියක් ඇති බවයි.
එවැනි සමාවක් ලබා දීමේ අභිමතය හා බලය ජනාධිපතිවරයෙකුට තිබුණද එවැනි තීරණයක් අත්තනෝමතික ලෙස හෝ විශේෂයක් දක්වමින් ක්‍රියාත්මක නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කරනවා.
ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතිගරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටින්නේ දුමින්ද සිල්වාට සමාව ලබාදීමේ අරමුණ, එහිදී සැලකිල්ලට ගත් කරුණු සහ තත්ත්වයන්, වර්තමානයේ තිබෙන නඩු අතරින් දුමින්ද සිල්වාගේ නඩුව සුවිශේෂී වීමට හේතුව ඇතුළු නඩුව විභාග කළ විනිශ්චකාරවරුන්ගේ වාර්තාව නීතිපතිවරයාගේ උපදෙස් සහ අධිකරණ අමාත්‍යවරයාගෙන් නිර්දේශය පොදු ජනතාවට ඉදිරිපත් කරන ලෙසයි.
දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීම ඉහත නීති ප්‍රකාරව සිදු වූවක් නොවුණහොත් එය නීතියේ ආධිපත්‍යය පිරිහීමටත් යුක්තියේ පරිපාලනය පිළිබද මහජන විශ්වාසය බිඳ වැටීමටත් හේතු විය හැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැඩිදුරටත් නිවේදනය කරනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




