පසුගිය දින කිහිපයේ මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් වරයා, ප්‍රධාන ඉන්ජිනේරුවරයා සහ නියෝජ්‍ය ප්‍රධාන ඉන්ජිනේරුවරයාට රටින් පිටවීම තහනම් කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියොගයක් නිකුත් කරමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ කරුණු අනුව මෙම සැකකරුවන් තිදෙනා ජුනි මස 07 වනදා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.
මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින්ට එම නෞකාව අසළට ගොස් එහි වැඩිදුර විමර්ශන සිදු කිරීමට අවසර දී තිබෙනවා.
මෙම කටයුතුවලට අදාළ සහය ලබා දෙන මෙන් නාවික හමුදාපතිවරයාට ද අවශ්‍ය ලිපි ලේඛන ලබා දෙන ලෙස එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ සභාපතිවරයාට ද නියෝග කර ඇත.
මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ ටොන් 55 ක නයිට්‍රික් අම්ල තොගය අතරින් එක් බහාලුමක තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දු වීම සහ නෞකාව තුළ එවන් අනතුරක් පවතින බව හොඳින් දැන දැනත් ඒ බව නොදන්නවා මෙරටට ඇතුල් වීමට උත්සහ දරා ඇති බවත් ය.
අන්තර්ජාතික නාවික සම්මුතීන්ට අනුව යම් නෞකාවක් තුළ අනතුරක් වෙමින් පවතින විට එය කිසියම් වරායකට ඇතුල් වීමට පැය 72 කර පෙර ඒ බව දැනුම් දිය යුතුව තිබෙනවා.
නමුත් මෙම සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාවේ නිළධාරින් හෝ එය අදාළ දේශීය සමාගමේ නියෝජිතයා හෝ මෙම අනතුර පිළිබඳ ශ්‍රී ලංකාවේ නිළධාරින් දැනුවත් කර නොමැති බවටද චෝදනා එල්ල විය.
මෙය බරපතල වරදක් බවත් සමුද්‍ර දූෂණ වැළක්වීමේ පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය සහ වන ජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ මොවුන් වරදක් සිදු කර තිබෙන බවටත් අනාවරණය වේ.
මේ වන විට මෙම නෞකාවේ කපිතාන්වරයා, ඉන්ජිනේරුවරයා හා සහායක ඉන්ජිනේරුවරයා විදේශිකයන් බැවින් ඔවුන් ව නිරෝධායනයට ලක්කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නා.