ඉන්දුනීසියාවේ සිට තොග වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවක් මගින් යූරියා පොහොර තොගයක් කොළඹ වරායට රැගෙනවිත් ඇත.
රසායනික පොහොර ආනයනය තහනම් කර තිබියදීත් මෙම ආනයනය සම්බන්ධව රේගු ආදායම් අධීක්ෂණ අංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
රේගු පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ කොළඹ 08, බාවා පෙදෙසේ පිහිටා තිබෙන පෞද්ගලික සමාගමක් මෙම යූරියා පොහොර තොගය ආනයනය කර තිබෙන අතර අදාළ නැවෙන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 9795 ක් මෙරටට ආනයනය කර ඇත.
ඉකුත් මැයි මස 06 වැනිදා රසායනික පොහොර ආනයනය තහනම් කරන ලදී. ඊට අදාළ රෙගුලාසි වලට අනුව මැයි 06 වැනිදා හො මැයි 06 වැනිදායින් පසුව රසායනික පොහොර මෙරටට එවීම සඳහා නැව්ගත කළ නොහැක. රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා පැවසුවේ මෙම පොහොර තොගය නැව්ගත කරන ලද දිනය සම්බන්ධව රේගු අධීක්ෂණ අංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
මෙම රසායනික පොහොර තොගය පිළිබඳව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ තහනම් කර තිබියදී ඒවා ආනයනය කිරීම කළ නොහැකි බවත් ඉකුත් අප්‍රේල් මස 28 වැනිදායින් පසුව ණයවර ලිපි (එල්.සී.) විවෘත කිරීමට අවස්ථාව ලබා නොදුන් බවත්, මීට පෙරදී එල්.සී විවෘත කර මෙරටට ආනයනය කරන ලද මිශ්‍ර පොහොර මෙට්‍රික් ටොන් 2500 ක තොගයක් තවමත් නිදහස් නොකර වරායේ තිබෙන බවත්ය.




