කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැරට සහභාගී වූ නැටුම් කණ්ඩායම්වල සාමාජිකයින් 15 කට කොරෝනා ආසාදනය වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය පවසනවා.
ජූලි 18 සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂාවන් මඟින් මෙම පිරිස ආසාදිතයින් බව තහවුරු වී ඇත.
ඒ අනුව ගුරු ගෙදර විශ්‍රාම ශාලාවේ නතරව සිටි ගාල්ල ප්‍රදේශයේ නර්තන කණ්ඩායමක 11 කට සහ තරුණ බෞද්ධ සංගම් විශ්‍රාම ශාලාවේ නතරව සිටි පන්දම් කණ්ඩායමේ 04 කට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
මේ අතර කතරගම ප්‍රදේශවාසීන්ට පවා පෙරහැර නැරඹීම තහනම් කර ඇති පසුබිමක සුඛෝපභෝගි වාහනවලින් පැමිණ විශාල පිරිසක් දිනපතාම පෙරහැර නරඹන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
දේවාල වටරවුමේ පදිංචි වී සිටින ජනතාවට පාපැදියකින් යතුරුපැදියකින් හෝ ගමන් කිරීමට ඉඩ නොදෙන අතර පළාත් අතර සංචරණය සීමා පනවා තිබියදී මෙතරම් පිරිසක් පෙරහර නැරඹීමට පැමිණෙන්නේ කෙසේද ලෙස ප්‍රදේශවාසීන් ප්‍රශ්න කරනවා.
කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න මහතා පවසන්නේ තමා කිසිදු පිටස්තර පුද්ගලයෙකුට පෙරහැර බැලීමට ආරාධනා නොකළ බවත් ඇතැම්විට පෙරහැරේ කොටස් භාරව සිටින කොළඹ නිලධාරීන් පැමිණ සිටීමට ඉඩ ඇති බවත් ය.




