වතුකරයේ දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීමට නොහැකි වන සේ කම්කරු ආඥා පනත ශක්තිමත් කිරීමට සාකච්ඡා කරමින් සිටින බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ වසර 100කට වඩා පැරණි මෙරට කම්කරු ආඥා පනත වෙනස් කර බාල වයස්කාර දරුවකු මෙහෙකාර සේවයේ යොදවන දෙමව්පියන්ට ද දඬුවම් ලබා දිය හැකි වන සේ නව පනත ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි.
"මින් ඉදිරියට වතුකරයෙන් මෙහෙකාර සේවයට ළමුන් ගෙනියන්න කාටවත් බෑ.වතු කම්කරුවන්ගේ පවුල් වල ආර්ථික ගැටලු තියෙනවා කියලා මම පිළිගන්නවා. ඒකට විසඳුම ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීම නෙවෙයි" ලෙස තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළා.
පිළිස්සී මියගිය ඉෂාලිනිගේ මරණයෙන් ඇතැම් පුද්ගලයන් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කළ ද මේ පිළිබඳ ව පොලිසිය විමර්ශන කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් තමා සෑහීමකට පත්වන බවත් වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ දැමීමට වැඩපිළිවෙළ රැසක් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.




