හෙරොයින් කිලෝ ග්‍රෑම් 51 කට වැඩි ප්‍රමාණයක් සමග පසුගිය දා අත්අඩංගුවට පත් දකුණු කළුතර පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා මෙම මස 22 වැනිදා දක්වා තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට අධිකරණය පසුගිය 8 වැනිදා නියෝග කර තිබෙනවා.
මෙලෙස තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දකුණු කළුතර පොලිසියේ අධිකරණ කටයුතු අංශය බාරව කටයුතු කළ වාද්දුව පොතුපිටිය උතුර පදිංචි 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂක ටී .සනත් කුමාර ද සිල්වා, කොළඹ 15 අලුත් මාවත පදිංචි රාමයියා සම්මුගනාදන් සහ ජාඇල ඒකල පාර පදිංචි යෝගරාජා අරුල්නාත් යන සැකකරුවන් තිදෙනාය.මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් කියා සිටියේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මීට පෙරද නිළ ඇඳුමෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. එම නිසා මෙම සැකකරුවන් රිමාන්ඩ් කිරීමෙන් පසු අනෙක් සැකකරුවන්ගෙන් වෙන්ව තබන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන ලෙසද ඉල්ලා සිටියා.
තව ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස විදේශිය සම්බන්ධතා ඇති බවට සැකකරන නිසා තවත් දුරකතන අංක 10ක ඇමතුම් විශ්ලේෂණ වාර්තා ලබාදෙන ලෙස ආදළ දුරකතන සමාගම්වලට නියෝගයක් නිකුත් කරන ලෙසද මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
එම කරුණු සලකා බැලීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවයාරටත් අදාළ දුරකතන සමාගම්වලටත් අදාළ නියෝග නිකුත් කර ඇත.
ඉහත සඳහන් සැකකාර උප පොලිස් පරික්ෂකවරයා නිල ඇඳුමෙන් සැරසී CBK 7785 දරන මෝටර් රථයෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොළඹ දෙසට යාම සඳහා හික්කඩුවේ සිට බද්දේගම පිවිසුම වෙත ගමන්කරමින් සිටියදි ඉකුත් 18 වැනිදා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරින් විසින් රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 51 ග්‍රෑම් 728ක් සොයා ගනු ලැබුවා.