
බඩල්කුඹුර පරෙයියන් ඇල්ල නැරඹීමට පෙරේදා (01දා) ගිය එකම පවුලේ සහෝදරයෙකු සහ සහෝදරියක් ඇල්ලේ දිය වලකට වැටී ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඔක්කම්පිටිය ගාමිණීපුර පදිංචි සුරාජ් මධුශංක ගජවීර (30) සහ ඔහුගේ සහෝදරියක වන අයේශා ගයාශානී ගජවීර (23) නැමති අයවලුනු බව ඇතැයි බඩල්කුඹුර පොලිසිය පවසනවා.මියගිය දෙදෙනා තම පවුලේ ඥාතීන් පිරිසක් සමඟ පරෙයියන් ඇල්ල නැරඹීමට ගොස් ඇති අතර එහිදී අයේශා ගයාෂානී ගජවීර නැමැත්තිය පය ලිස්සා ගොස් ඇල්ලට වැටී ඇත. පසුව ඇයගේ සහෝදරයා ඇය බේරාගැනීමට ඇල්ලට පැන ඇති අතර දෙදෙනාම දියේ ගිලී මියගොස් තිබෙනවා.
ඥාතීන් සහ ගම්වාසීන් විසින් ඔවුන් දෙදෙනා දියෙන් ගොඩට ගන්නා විටත් මියගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.
මෙසේ මියගිය සුරාජ් මධුශංක ගජවීර පුද්ගලික සමාගමක විධායක නිලධාරියෙකු ලෙස සේවය කරන අතර අගෝස්තු මස 18 වෙනි දින විවාහවීමට නියමිතව තීබී ඇති අතර මියගිය අයේශා ගයාෂානී ගජවීර අගෝස්තු මස 15 වෙනි දින හෙද පුහුණුව සඳහා බදුල්ල හෙද විදුහලට ඇතුළත්වීමට නියමිත තිබිණි.
මෙම දෙදෙනාගේ මරණ පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (02) මොණරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේදී පවත්වා ඇති අතර බඩල්කුඹුර පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
පුදේශවාසීන් පවසන්නේ මෙම ඇල්ල නැරඹීමට පැමිණියාට කිසිසේත්ම මෙහි දිය නෑම හෝ ගල්පර මත ඇවිදීම නෙකරන ලෙසටය. මහජනයා විශාල ලෙස සංචාරය සඳහා පැමිණිය ද ඔක්කම්පිටිය ප්‍රාරාදේශීය සභාව හෝ රජයේ කිසිදු වගකිවයුතු ආයතනයක් මෙහි ආරක්ෂාව ගැන කිසිදු පියවරක් මෙතෙක් ගෙන නොමැති බව ද ප්‍රදේශවාසීහි කියා සිටියි.