"වාරි සෞභාග්‍යා" වැඩපිළිවෙල යටතේ කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා ප්‍රධාන මාර්ගය දෙපස ඇති වැව් 13ක් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත.
ගල්කුලම වැව, තිරප්පනේ වැව, උලන්කුලම වැව, මලව වැව, තිබ්බටු වැව, සලු අපුල්ලන වැව, ඉබ්බන්කටුව වැව, කුඩා වැව, ගලපිට වැව, පුවක්පිටිය වැව, කලහකලේ වැව, පාලම්මුල්ල වැව සහ කලගස් වැව යන වැව් මේ යටතේ ප්‍රතිසංස්කරණය කරන අතර ඒ සඳහා වැයකෙරෙන මුදල රුපියල් කෝටි 81 කි.
මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විටත් ආරම්භ කර ඇත. එම කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවක ඉකුත් දා ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා නිරත වූ අතර එම වැව්වල ප්‍රතිසංස්කරණ කටයුතු මාස දෙකක් පමණ ඇතුළත නිම කිරීමට බලාපොරොත්තු වන බව එමහතා පැවසීය.
වැව්වල වැවී ඇති අනවශ්‍ය ජලජ ශාක ඉවත් කිරීම, වැව් අවට ඇවිදින මංතීරු ඉදිකිරීම, සූර්ය විදුලිපහන් භාවිතයෙන් ආලෝකමත් කිරීම, විවේක ගත හැකි හා ව්‍යායාම කිරීමේ ස්ථාන ඇතිකිරීම, ළමා උයන්, රථගාල් හා සනීපාරක්ෂක පහසුකම් ඉදිකිරීම ඇතුළු කටයුතු මඟින් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි පරිදි සංවර්ධන කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන බවත් මීට අමතරව වැව් අවට කෘෂි නිෂ්පාදන, අත්කම් භාණ්ඩ අලෙවිසැල් ද ඉදිකෙරෙන බව රාජ්‍ය ඇමතිවරයා කීවේය




