මේ දිනවල පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත 30 වැනිදා සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයකු පැරාලිම්පික් උළෙලකදී දිනාගත් පළමු රන් පදක්කම ලෙසද එය වාර්තා අතරට එක් වේ.
එෆ් 46 කාණ්ඩය යටතේ තරග වැදුණ ක්‍රීඩකයන් එක් අතක් වැලමිටට පහළින් හෝ ඉහළින් අහිමි ක්‍රීඩකයන් වේ. මේ යටතේ තරග වදින දිනේෂ්, සිය තෙවැනි උත්සාහයේදී මිටර් 67.79 ක දුරක් හෙල්ල විසිකරමින් නව ලෝක වාර්තාව පිහිටුවේය. ඔහුගේ පළමු උත්සාහය මීටර් 62.58 ක් ලෙසද, දෙවැනි උත්සාහය මීටර් 62.19 ක් ලෙසද සටහන් විය.
35 හැවිරිදි දිනේෂ් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන අතර 2016 වසරේදී පැවැති රියෝ පැරලිම්පික් උළෙලේදී මීටර් 58.23 ක දුරක් හෙල්ල විසිකරමින් එෆ් 46 කාණ්ඩයේ ලෝකඩ පදක්කමට හිමිකම් කියූ ක්‍රීඩකයාද විය.
දිනේෂ් 2017 වසරේ ලන්ඩන්හිදී (මීටර් 57.93) සහ 2019 වසරේ ඩුබායිහිදී (මීටර් 60.59) පැවැති පැරා ලෝක ශූරතාවලි දෙකේදී රිදී පදක්කම් හිමිකර ගත්තේය. මෙවර පැරලිම්පික් උළෙලට සහභාගී වීමට පෙර ඔහුගේ ඉහළම දක්ෂතාව ලෙස 2018 වසරේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැති ආසියානු පැර ක්‍රීඩා උළෙලේදී මිටර් 61.84 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කමක් දිනාගැනීම සටහන්ව තිබිණි.
මෙම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ඉන්දියාව සතුවූ අතර එම පදක්කමට හිමිකම් කී ක්‍රීඩකයන් දෙදෙනාද පැරණි වාර්තාව අභිබවා යෑමට සමත් වීම එහිදී කැපීපෙනෙන සිදුවීමක් විය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




