කොළඹ වරාය නගරයේ චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් පිහිටුවීම සදහා සියලු පහසුකම් සැලසීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
මෙරට ආයෝජන අවස්ථා සදහා චීනයේ සහය අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යවරයා පැවසුවේ චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කතානායක) ලී ෂන්සු මහතා සමග සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (1) පෙරවරුවේ සාකච්ඡාවක් පවත්වමිනි.
මෙහිදී චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා පැවසුවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු අනෙකුත් ආයෝජන සදහා චීනය පහසුකම් සලසන බවත් සමීප මිතුරකු වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උපරිම සහයෝගය දෙන බවත්ය. මෙම සාකච්ඡාව වඩාත් පුළුල් ලෙස ඉදිරියට ගෙන යාමටද කැපවන බව චීන කතානායකවරයා මෙහිදී සහතික වූයේය.
ඒ මහතා තවදුරටත් පෙන්වා දුන්නේ කොවිඩ් තත්වය පහවීමෙන් පසු දෙරට අතර දූත පිරිස්වල සංචාර මගින් අන්‍යෝන්‍ය සහයෝගීතාව වඩාත් ඉහළ තලයකට ඔසවා තැබීමට හැකිවන බවය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.