බේරුවල ට ආසන්න දකුණු මුහුදේ දී රුපියල් කෝටි තුන්සියයකට ආසන්න හොරයින් මත්කුඩු තොගය මෙරට ප්‍රවාහනය කිරීමට සංවිධාන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි චමින්ද තාබෲ හෙවත් 'බොබ් මාලි' නැමති සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් සැකකරුව ඇල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය මඟ හරිමින් සිටි මෙම සැකකරු ඇල්පිටිය කැටපළ ප්‍රදේශයේ මාදු ගඟ ආසන්නයේ නිවසක සැඟව සිටින බවට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසනවා.පොලිසිය මඟ හරිමින් සිටි සැකකරු දින 8 ට කාලයක් පුරා ඔහුගේ මිතුරෙකුට අයත් මෙම නිවසේ සැඟව සිට ඇති අතර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පෙරේදා දහවල් සිට මාදු ගඟ ආශ්‍රිතව බෝට්ටු යොදා සිදුකළ මෙහෙයුමේදී මෙම නිවස හඳුනාගෙන ඇත.
බේරුවල මුහුදු තීරයේ දී පසුගිය අගෝස්තු 31 වනදා අත්අඩංගුවට ගත් මෙරටට රැගෙන ආ කිලෝග්‍රෑම් 288කට අධික හෙරොයින් තොගය සහ සැකකරුවන් පස් දෙනා සම්බන්ධ ජාවාරම මෙහෙය වූ පුද්ගලයා ලෙස ඔහුව හඳුනාගෙන ඇත.
බහුදින යාත්‍රා නියමුවෙක් වශයෙන් කටයුතු කරමින් සිටින මෙම සැකකරු මාලඹේ තලාහේන , නිසංසලා මාවතේ අංක 128/09 සහ බත්තරමුල්ල උඩුමුල්ල,සල්මල් මාවතේ අංක 522/1/2 යන ලිපින වල පදිංචි සිට ඇති අතර ඉකුත් අගෝස්තු (31) දින බේරුවලදී ඉහත මත්කුඩු තොගය අත්අඩංගුවට ගැනීමත් සමඟම මොහු පොලීසිය මඟහරිමින් සැඟව සිට ඇති බවද පොලිසිය පවසනවා.
ජාත්‍යන්තරව ජනප්‍රිය ගායකයකුගේ හැඩරුවට සමාන ව කොණ්ඩය දිගට වවාගෙන සිටීම නිසා මොහු බොබ්මාලි යන අන්වර්ථ නාමයෙන් ජනප්‍රියව සිටි පුද්ගලයෙකු බවද පොලිසිය සඳහන් කරයි .
පොලිස් මූලස්ථානය ඊයේ ඔහුගේ ඡායාරූපයක් සමග ජනතාවගේ සහාය ඉල්ලමින් නිවේදනයක් නිකුත් කරන ලදි. ඉන් පසු බොබ්මාලිගේ හැඩයෙන් යුතුව වවා තිබූ දිගු කොණ්ඩය ඊයේ (8) කොටට කපා දමා තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වෙත රැගෙන විත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් පවතිනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




