ඉදිරි වසර 3 තුළ ආණ්ඩුවෙන් සිදුවූ වැරදි, අඩුපාඩු හා නොවිය යුතුව තිබූ දේවල් නිවැරදිව තේරුම් ගෙන කටයුතු කළහොත් ජනතාවගේ විශ්වාසය බලවත්ව දිනා ගැනීම ආණ්ඩුවට ඉටුකරගත නොහැකි දෙයක් නොවන බව කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
ලංකා කාර්මික සංවර්ධන මන්ඩලයේ පැවැති කුඩා පරිමාණ ඇඟලුම් කර්මාන්තකරුවන් පිරිසක් සවිමත් කිරීම සඳහා මහන මැෂින් ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
"අපේ ආණ්ඩුව බලයට පත්ව වසර දෙකකට ආසන්නයි. 2019 ජනාධිපතිවරණයෙන් මාස දෙකකට පමණ පසුවයි කෝවිඩ් වසංගතය ලොව පුරා පැතිර ගියේ.වසංගතය විසින් ලොව පුරා සියලු දේවල ක්‍රියාකාරීත්වය අඩපණ කරනු ලැබුවා.එමගින් අප වැනි රටවල පමණක් නෙවෙයි ලෝකයේ ඉතා ප්‍රබල ආර්ථිකයක් තිබූ රටවලද ආර්ථිකයන් බිඳ වැටුණා."
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව පහත වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය කෝවිඩ් වසංගතයක් සමඟ මුළුමනින්ම බිඳ වැටුණු අතර මේ වන විට රට විවෘත කළ ද කුමන මොහොතක හෝ මෙම වසංගතය යළි හිස එසවීමට හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ආණ්ඩුව සිය දෙවසරක ගමන් මග පිළිබඳව ගැඹුරු ස්වයං විවේචනාත්මක හැරී බැලීමක් සිදුකරමින් සිටින බවත් පොදු ජනතාවගේ අපේක්ෂාවන් සමග සෙල්ලම් කිරීමේ අයිතියක් ආණ්ඩුවට නැති බවයි.
"ජනතාව සිතන ආකාරය තේරුම් ගත යුතුයි. එහිදී අපි මහජනයාගේ අපේක්ෂාවන්ට මුල්තැනදී වැඩ කළ යුතුයි.එසේ නොවුණහොත් අපි කොයිතරම් අතීතය දෙස හැරී බලා නිවැරැදි කියැවීමක් සිදුකරගත් භාවිතයේදී අපට ජය ගැනීමට පුළුවන් වෙන්නේ නැහැ.මහජනයා අප කෙරෙහි තබා තිබෙන විශ්වාසයට පිටුපාන්න අපට අයිතියක් නැහැ.ඒ විශ්වාසය අඩු වන විදියට නෙවෙයි වැඩි වන අන්දමට වැඩ කිරීමේ අභියෝගය තමයි අපි සියලු දෙනා ඉදිරිපිට තියෙන්නේ."
මෙම වසංගතය හේතුවෙන් ආණ්ඩුවක් ලෙස කළ යුතුව තිබූ සමහර කටයුතු මගහැරුණු අතර විශේෂ අවධානය යොමු නොකළ අවස්ථාද ඇති බවත් ඉදිරියේ ඇති වසර 3 ජනතාව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ වෙනස ප්‍රායෝගිකව සිදු කර පෙන්වීමට ඇති හොඳම කාලය බවත් විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.
මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය හා නිලධාරීන් ද එක්ව සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.