සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය පිහිටි මාබිම මාර්ගය අසල කසළ ගොඩක තිබී ඊයේ (04) කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.
මෙම ස්ථානයෙන් දුගඳක් හමන බවට ප්‍රජා පොලිස් කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත සොයා බැලීමේදී පැදුරකින් ඔතා තිබෙන සැකකටයුතු ගමන් මල්ලක තිබී අත් පා ගැට ගසන ලද මෙම කාන්තා මළ සිරුර සොයාගෙන ඇත.
ඝාතනයට ලක්වූ කාන්තාව වයස අවුරුදු 35 ත් 40 ත් අතර පසුවන බවට පොලිසිය සැක කරන අතර ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැති බවයි පොලිසිය පවසන්නේ.
මියගිය තැනැත්තිය කළු සහ රතු වර්ණ ගවුමකින් සැරසී සිටින අතර දින පහකට පමණ පෙර ඇය මිය යන්නට ඇති බවට සැක පළ කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාශ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සපුගස්කන්ද පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඊයේ පස්වරුවේ මහර වැඩබලන මහේස්ත්‍රාත් රමණි සිරිවර්ධන මහත්මිය විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර ඇත.
මෙම මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



