පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් තමාව දැනුවත් නොකළ බව දිවුරා ප්‍රකාශ කළ හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ (27) පොළොන්නරුව නිර්මල දේවමාතා කතෝලික දෙව් මැදුරේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා පෙරදී දැන සිටි බවට පැතිරෙන කට කතා අසත්‍ය බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
"පාස්කු ප්‍රහාරය ගැන ආරංචියක් ලැබිලා ඒ ගැන දැනගෙනත් මම පිටරට ගියා කියලා ආරංචියක් පැතිරෙනවා.ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යක්. මට මේ ගැන යම් හෝ තොරතුරක් බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ දැනුවත් කළා නම් මං රටින් පිටවෙන්නේ නැහැ. ඒ දවස් දෙක මම සිංගප්පූරු රෝහලක හිටියේ.මම මේ පිළිබඳව මංම පත්කරපු ජනාධිපති කොමිසන් සභාවට පවා ප්‍රකාශ කළා."
"බෞද්ධයෙක් විදිහට බුදුන් වහන්සේගේ දෙපා නැමැද මට කියන්න පුළුවන් සත්‍ය වශයෙන් මේ තොරතුරු කිසිවක් මං දැනුවත් වුණේ නැහැ කියලා.මම බෞද්ධයෙක් වුණත් ගෞරවනීය අපේ පූජකතුමනි, මේ උතුම් දේවස්තානයේ වේවා ඕනෙම තැනක ඒ අති උතුම් කුරුසයේ අත ගසා මට කියන්න පුළුවන් ඒ කිසිම තොරතුරක් මට ලැබුණේ නැහැ කියලා."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



