දෛනිකව පරිසරයට එකතු වන කාබන් පෑන් සහ දත් බුරුසු එකතු කිරීම සඳහා විශේෂ බහාලුම් ක්‍රමයක් හඳුන්වා දීමට පරිසර අමාත්‍යාංශය විසින් 'නීතියක් නොව විනයක්' නමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ යටතේ දැනට බහලුම් 3000ක් බෙදා දී ඇති අතර ඉදිරි වසර තුළ පාසල් සඳහා බහලුම් 4000ක් ද රාජ්‍ය ආයතන සඳහා බහාලුම් 4000ක් ද ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
ඒ ඒ ආයතන විසින් ඉවත දමන කාබන් පෑන් සහ දත් බුරුසුවලින් මෙම බහාලුම් පිරීගිය පසු INSEE සිමෙන්ති සමාගම විසින් ඒවා ලබාගෙන විනාශ කිරීමට කටයුතු යොදා ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙරට පාසල් පද්ධතියෙන් පමණක් දෛනිකව පරිසරයට මුදාහරින හිස් කාබන් පෑන් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 95-100 ක් පමණ වන අතර එම එක් කාබන් පෑනක් දිරාපත් වීමට වසර 450 ක පමණ කාලයක් ගතවන බව පාරිසරික විද්‍යාඥයන් විසින් තහවුරු කර ඇත.
එපමණක් නොව ඒවා දිරාපත් වූ පසු ක්ෂුද්‍ර ප්ලාස්ටික් අණු බවට පත්වී ජලයට හා පසට එක් වීම හේතුවෙන් ආහාරපානවලට හා පානීය ජලයට එකතු වී ශරීරගත වීමට ඉඩ ඇත.
ඒ අනුව ඌව පළාතේ සියලුම රාජ්‍ය ආයතන සඳහා අදාල බහාලුම් ලබාදීම පසුගියදා සිදු කෙරුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



