වැඩි කල් නොගොස් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට රජයට සිදුවනු ඇති නමුත් ඒ පිළිබඳ අවසන් තීරණය ගත යුත්තේ ශ්‍රී ලංකා විදුලිබල නියාමන මහජන උපයෝගීතා කොමිෂන් සභාව බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
ඊයේ (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ විදුලි ඒකාධිකාරියේ පාඩුව අවම කර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි.
කෙසේ වෙතත් විදුලි ගාස්තු වැඩි කිරීමේ නිර්දේශය මහජන උපයෝගීතා කොමිසම විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු අතර ගාස්තු වැඩි කිරීම පනවන්නේ කෙසේද , කවදා සිටද කුමන අනුපාතයට ද යන්න පිළිබඳ කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
කෙසේ වෙතත් මේ සඳහා අවම වශයෙන් සති කිහිපයක් ගත වනු ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මේ අතර නව විදුලි සම්බන්ධතා ලබා දීම සීමා කිරීමට සිදුව ඇති බව ලංකා විදුලිබල මන්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය රොහාන්ත අබේසේකර පවසනවා.
පවතින ආර්ථික අර්බුදය හමුවේ නව සබඳතා ලබා දීමට අවශ්‍ය උපාංග ටෙන්ඩර් මගින් මිලදී ගැනීමට නොහැකි අතර මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම දැනුවත් කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




