රාජ්‍ය මූල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලතල ඉහළ නැංවීම සඳහා කාරක සභා 15ක් පිහිටුවීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (29) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම කාරක සභාවලට සම්බන්ධ වීමට තරුණ අරගලකරුවන්ට අවස්ථාව ලබා දෙන බවයි.
මේ අතර දැනට පවතින පාර්ලිමේන්තු ක්‍රමය සහ රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය එක්කර නව ක්‍රමවේදයක් ඇති කිරීම අත්‍යාවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
තවද එක්සත් රාජධානිය නවසීලන්තය සහ ඉන්දියාව වැනි රටවල් උදාහරණයට ගනිමින් වඩා ශක්තිමත් සහ බලවත් නව මුදල් නීති මාලාවක් සම්මත කරන බව අගමැතිවරයා පැවසුවා.
එමෙන්ම කතානායක වරයා අවරයා අග්‍රාමාත්‍යවරයා විපක්ෂනායකවරයා සහ ප්‍රධාන පක්ෂවල නායකයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් පත්කිරීම සහ කාරක සභා ක්‍රමය ඇති කිරීම මගින් සම්පූර්ණ බලතල පාර්ලිමේන්තුවට ලබාදීම පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වූවා.
"ඒ නිසා යෝජනා කරනවා අධීක්ෂණ කොමිටු 10ක් පත්කරන්න. මේ මුල්‍ය කාරක සභා 5 ඒ වගේම අධීක්ෂණ කාරක සභා 10 සභාපති ලෙස ඉන්නේ පසුපෙළ මන්ත්‍රීවරු. ඒ නිසා අපිට අවස්ථාව තියෙනවා ඇමතිවරුන්ගෙන් ස්වාධීනවත් ඇමතිවරුන් සමගත් යන දෙකටම වැඩකරන්න ක්‍රමවේදයක් ඇති කරන්න. මේ කාරක සභා 15ටම යෝජනා කරන්නේ තරුණ නියෝජිතයින් 4 දෙනෙක් පත්කරන්න. එයින් එක්කෙනෙක් යොවුන් පාර්ලිමේන්තුවෙන්. අනෙක් තුන මේ විරෝධය පළකරපු කණ්ඩායම්වලින් හා අනෙක් තරුණ කණ්ඩායම්වලින් තෝර ගන්න. ඒ තෝර ගන්න ක්‍රමවේදය තරුණ සංවිධාන මඟින්ම තීරණය කරන්න පුළුවන්. මේ අවස්ථාවේ දී තරුණයින්ට පුළුවන් ප්‍රශ්න දැනගන්න ඒ වගේම තමන්ගේ විසඳුමත් ඉදිරිපත් කරන්න.
මේ හැම දේ එක්කම අපි තවත් යෝජනා කරන්නේ ජාතික සභාවක්. කථානායකතුමා, අගමැතිතුමා ඒ වගේම විපක්ෂ නායකතුමා ඇතුළු ප්‍රධාන පක්ෂ නායකයින්ගෙන් යුත් කොමිටුවක් තමා මේ ජාතික සභාව. ජාතික සභාවට පුළුවන් රටේ ප්‍රශ්න ගැන කතා කරන්න. කැබිනට් මණ්ඩලයේ තීරණ ගැන කථා කරන්න. ඒ එක්කම පාර්ලිමේන්තුවේ ප්‍රතිසංවිධාන ගැන සාකච්ඡා කරන්න. එහෙනම් ඒක දේශපාලන මණ්ඩලයක්. ඒකට තරුණ නියෝජිතයින් ඉන්නවා නම් වෙනම පත්කරපු ඒ අය ගැනත් අපිට සලකා බලන්න පුළුවන්. අපි මේ ඇති කරලා තියෙන අලුත් ක්‍රමයේ දී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන්න ඕනේ. ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකියන්න ඕනේ. ජාතික සභාව පාර්ලිමේන්තුවට වගකියන්න ඕනේ. කාරක සභා සහ අධීක්ෂණ කාරක සභා 15ක් පාර්ලිමේන්තුවට වගකියන්න තියෙනවා. එතකොට මේ හැම එකේම සම්පූර්ණ බලය තියෙන්නේ ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවට."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




