මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පැවසුවේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ විභාග කටයුතු විභාග දෙපාර්තමේන්තුව මගින් පොදු දිනයකදී පැවැත්වීමට පියවර ගනිමින් සිටින බවයි .
කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ අදාල විභාග කටයුතු මේවන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාල මගින් සිදු වේ. නමුත් මෙම විභාග කටයුතු කඩින් කඩට සිදුවීමත් ඒ පිළිබඳ නොයෙකුත් විවේචන එල්ල වීමත් මත මෙම පියවර ගත් බවයි.
සතිපතා පවත්වන විභාග කටයුතු මාසයකට වරක් හෝ දිවයින පුරාම එක් දිනකදී පැවැත්වීමට හැකිවනු ඇති බවත් බොහෝ විවේචන එල්ල වී තිබෙන විභාග ප්‍රශ්න පත්‍රයේද වෙනස්කම් කිරීමට අවශ්‍ය සාකච්ඡා කරමින් පවතින බවත් එ මහතා පැවසුවේ ය.
කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තාක්ෂණික සහාය ලබාගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා නාරාහේන්පිට කාර්යාලය මගින් සේවා සපයනු ලබන කල්තියා දින වේලා වෙන්කරගැනීමේ ක්‍රමවේදය ලබන අගෝස්තු මාසයේ සිට සියලුම දිස්ත්‍රික් කාර්යාල වෙත හඳුන්වාදීමට පියවර ගන්නා බවය.




