හෙට (20 වැනිදා) අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමග වර්ජනයේ නිරතව සිටින ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව තීරණාත්මක සාකච්ඡාවක් පවත්වයි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අහෝසි කිරීම, වසර ගණනක් තිස්සේ පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම හා ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාමාර්ග නතර කිරීම යන ඉල්ලීම් මෙම එකමුතුව ඉදිරිපත් කර ඇත. මෙම සාකච්ඡාවේ දී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් දැනට ක්‍රියාත්මක වර්ජනයට අමතරව මෙම මස 22 වැනිදා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට ද එම එකමුතුව තීරණය කර තිබේ.ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් ඇමැතිවරයා සමග සාකච්ඡා කිරීම සඳහා හෙට (20 වැනිදා) අමාත්‍යාංශයට පැමිණෙන ලෙස වෘත්තීය සමිති එකමුතුවට දැනුම් දී ඇති බවයි. වෘත්තීය සමිති එකමුතුව විසින් කොළඹ 2 ගුරු මැදුර ශාලාවේ ඊයේ (18 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය ඒ මහතා මේ බව පැවසීය.
තමන් ඇතුළු පිරිස නිරෝධායනයෙන් නිදහස් කළ පමණින් වෘත්තීය සටන නතර නොවන බවත් තමන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් නොලැබුණහොත් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් පැවසූහ.




