ඉකුත් 7 වනදා අත්අඩංගුවට ගැනුන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු 6දෙනා පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.
නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ විරෝධතාවයක නිරතවී සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලැබුණු අතර ඉන්පසු මෙසේ නිරෝධායනය සඳහා යොමු කර තිබුණි.
මේ අතර අභියාචනාධිකරණය දුමින්ද නාගමුව මහතා වහා අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති හබයාස්කෝපුස් පෙත්සමක් සලකාබැලීමට ලබන 19 වනදා කැඳවන ලෙස නියමකර තිබෙනවා.
ඊයේ (16) සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දුමින්ද නාගමුව මහතාගේ බිරිඳ වන එන්. දුලානි ප්‍රියංගිකා මහත්මිය විසින් ඉදිරිපත්කරන ලද මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කර ඇත.
ඉකුත් 7 වනදා කොම්පඤ්ඤ වීදිය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අසල උද්ඝෝෂණයක නිරතවෙමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවටගත් තම සේවාදායකයා පසුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර එම අධිකරණය මගින් ඇප මත මුදාහැරීමට නියෝගකර තිබූ බව එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා රෝගයට අදාළව නිකුත් කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශය මගින් උද්ඝෝෂණ තහනම් කර නොමැති බවත් පොලිසිය විසින් ඔහු බලහත්කාරී ලෙස පල්ලෙකැලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය කරා රැගෙන ගොස් රඳවාගෙන සිටි බවත් පෙන්වාදුන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියි සිටියේ සාමාන්‍යයෙන් නිරෝධායනයට ලක්වන පුද්ගලයෙකුට රජයේ මධ්‍යස්ථානයක හෝ පෞද්ගලික හෝටලයක නිරෝධායනයවීමේ අවස්ථාව තෝරාගැනීමට ඉඩකඩ තිබුණත් තම සේවාදායකයාට එම අවස්ථාව පොලිසිය විසින් අහිමිකළ බවයි.




