අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද පත් කරන ලදී. ඒ කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් මරා දමා තවත් තුන්සියයකට අධික පිරිසකට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මවුලවිවරුන් ඇතුළු විසි පස් දෙනකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහායි.
මෙයට අදාලව ගොනුකළ චෝදනා 23,270 කින් යුත් නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා වශයෙන් පත් කොට ඇත. එහි සාමාජික විනිසුරුවරුන් වශයෙන් අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් පත් කොට ඇත .
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.