පසුගියදා රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ සම්බන්ධයක් නැති බව ඒ සඳහා පත් කළ කමිටුව පවසයි.
ඒ අනුව සිද්ධියට අදාළ කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇත.
පසුගිය පෙබරවාරි 01 වනදා ඇති වූ මෙම ගැටුම සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ සහ රමේෂ් පතිරණ යන සාමාජිකයන් ගෙන් යුත් කමිටුවක් පත්කළා.
එම වාර්තාවට අනුව මෙම සිද්ධිය සිතා මතා හෝ චේතනාන්විත ක්‍රියාවක් නො ව තුන්වන සහ සිව්වන වසර සිසුන්ගේ වගකීම් විරහිත හැසිරීමක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු සිසුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඔවුන් සිදුකල යම් යම් ක්‍රියා පිළිගැනීමෙන් පසුව මුදල් හා ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.
කෙසේවෙතත් මෙම සිද්ධියේදී පොල් සංවර්ධන අධිකාරියට අයත් වාහනයක් භාවිත කිරීම හේතුවෙන් පොල් සංවර්ධන අධිකාරියේ වගකිවයුත්තන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් සමස්ත විශ්වවිද්‍යාලයේම ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් අදාළ කමිටුව නිර්දේශ කර ඇත.
ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කිසිදු අනුදැනුමක් හෝ බලපෑමක් සිදු කර නැති බව කමිටුව මගින් තහවුරු කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



