මෙහෙකාර සේවයේ යෙදීසිටියදී සිරුරට ගිණී ඇවිලී බරපතල ලෙස පිළිස්සුම් තුවාල සිදුවී රෝහල්ගත කර සිටි බාලවයස්කාර දැරියක ඊයේ (15) උදෑසන මිය ගියා.
ඇය හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාරිය වේ. මෙසේ මියගොස් ඇත්තේ ඩයගම බටහිර 3 කොටස, ඩයගම පදිංචි ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති 16 හැවිරිදි බාලවයස්කාර දැරියකි. මේ බව බොරැල්ල පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ ඊයේ (15) දැනුම් දුන්නේය.
ඒ අනුව, මහේස්ත්‍රාත්වරිය ඉකුත් 03 වැනිදා සිරුරට ගිණී ඇවිලීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 73 වාට්ටුවේ දැඩි සත්කාර ඒකක 2හි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දැරිය නිරීක්ෂණය කිරීම සදහා ඊයේ (15) පිටත්ව ගියාය.ස්ථානීය පරීක්ෂණය සදහා දැරිය පිළිස්සුම් තුවාල ලත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙහි පිහිටි නිවසටද මහේස්ත්‍රාත්වරිය පිටත්ව ගියා.
බොරැල්ල පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකරන ලෙසටය. මේ අනුව මහේස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර අධිකරණයට වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙසය.




